අමෙරිකානු පොලිසිය ගිය පාරේ යන ලංකාවේ පොලිසිය (VIDEO)

June 5, 2020 at 9:58 AM

ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි දරුවෙකුට පොලිස් නිලධාරින් පිරිසක් අමානුෂීය ලෙස පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා.

ඉකුත් මැයි මස 25 වෙනිදා තාරික් අසල වෙළඳසැල වෙත ගොස් ඇති අතර දර්ගා නගර් හි පිහිටි අඹගහ මංසන්ධිය අසල හි ස්ථාපිත පොලිස් මුරපොළේ රාජකාරියේ නියුතු නිලධාරින් පිරිසක් ඔහුව අල්ලා ගෙන අත් ගැට ගසා අමානුෂීය ලෙස පහර දී ඇති අතර සිය දරුවාට පොලිස් නිලධාරින් විසින් පහර දෙන බවට දැන ගන්නට ලැබීමත් සමග ඔහු විසින් එම ස්ථානයට ගොස් තිබෙනවා.

තමන් එම ස්ථානයට යන විටත් දරුවාගේ අත් ගැට ගසා තිබු බවත් ඔහුට දරුණු ලෙස පහරදී තිබු බවයි ඒ.එච්.එම්. වසීර් නම් දරුවාගේ පියා ප්‍රකාශ කර සිටියේ.

තම දරුවා ඔටිසම් රෝගයෙන් පෙලෙන බවට කරුණු පැහැදිලි කොට දරුවාව පොලිසිය භාරයෙන් මුදවා ගෙන අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට පැමිණියත් එහි සිටි නිලධාරින් එය භාර නොගත් බවයි ඔහු කියා සිටියේ.

ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාවට දරුවාව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි බවට පොලිස් නිලධාරින් ප්‍රකාශ කළ බව පවසන ඔහු පසුව පහර කෑමට ලක්වූ තම දරුවා නාගොඩ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදුන් බව කියා සිටියා.

තම දරුවාට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව සිදුකළ පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ඔටිසම් රෝගයෙන් පෙලෙන එම දරුවාට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් අයුරු පහතින් :