නාවික සෙබළුන් 838 කට කොරෝනා : පළමු ආසදිතයා වර්තා වී දින 45කට පසුවත් නාවික හමුදාවෙන් රෝගීන් වාර්තා වන්නේ ඇයි ?

June 4, 2020 at 12:56 PM

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යාමට හේතුව වන්නේ වෛද්‍යවරුන් විසින් තෝරා ගත් නාවික හමුදා පිරිසකට PCR පරීක්ෂණයන්ට ලක් සිදුකිරිම හේතුවෙන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටිනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවන් අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 838ක් වන බවයි. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 31ක් දෙනත් සමගයි.

තවදුරටත් කොරෝනා වෛරසය නාවික හමුදාව තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කොරෝනා මර්ධනයේ ඉදිරි පෙළ මෙහෙයුම් වල යෙදී සිටි නාවික හමුදා සාමාජිකයින්ව PCR පරීක්ෂණ සිදුකෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

නාවික හමුදාව විසින් වෛරසය වැළඳී ඇති නිලධාරීන්, ඔවුන්ගේ සමීපතමයන්, ඔවුන්ගේ සම්බන්ධතා සොයා ගෙන ඔවුන්ව හුදකලා කොට PCR පරීක්ෂණ සිදු කිරීම කරන බවයි.

දිනකට PCR පරීක්ෂණ 100 කට ආසන්න ප්‍රමාණයක් සිදු කෙරෙන අතර ප්‍රථිපල මගින් නිලධාරීන් 60-70 අතර සංඛ්‍යාවක් වෛරසය ආසාදනය වී ඇති බවට පෙන්නුම් කරන බැවින් ඒ හේතුවෙන් ආසාදිත නාවික හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම නව වැඩපිළිවෙල තුළ වෛරසය පැතිරීම අඩාල වනු ඇතැයි නාවික හමුදාව බලාපොරොත්තු වන බවත්, මේ මාසය අවසන් වන විට තවත් සිද්ධීන් වාර්තා නොවන බවට විශ්වාස කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.

ආසාදිත නාවික හමුදා නිලධාරීන් 426 දෙනෙකු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කලේ.