ජනපතිගේ අත්සන හොරට ගැසූ පුද්ගලයා හසුවූ හැටි

June 4, 2020 at 6:28 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලංකා බැංකු මුලස්ථානයේ ප්‍රධාන කළමනාකරු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි.

” වැඩ තහනමට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම” යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයක එතුමාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයේ අත්සනකින් ද යුක්ත ලිපියක් ඉකුත් මැයි 28 වෙනිදා ලංකා බැංකු සභාපතිවරයා වෙත ලැබී ඇත.

එම ලිපිය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ඊයේ දිනයේදී අදාල පුද්ගලයාව ලංකා බැංකු මුලස්ථානය වෙත කැඳවීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

එම අවස්ථාවේදී එම පුද්ගලයා විසින් පෙර කී ආකාරයේ ලිපියක් බැංකු සභාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇතිවූ සැකයක් මත බැංකු නිලධාරීන් විසින් ඔහුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

පසුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු සිය පුද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිතා කොට එම ලිපි සහ ලිපි කවර සකස් කර ඇති බවයි.

ඒ අනුව කූඨ ලේඛණ සකස් කිරිමට යොදා ගත් පරිගණකය සහ පෙන් ඩ්‍රයිව් 01ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකකරුගේ නිවසේ තිබියදී සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, යන්තන්පලාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.