හෙට අපගේ දරුවන්ට උරුම වන සංස්කෘතිය අද අපගේ තේරීමයි : කුමාර් සංගක්කාර

June 3, 2020 at 12:17 AM

පුරවැසියන්ගේ තේරිම රජයේ ආකල්ප, ක්‍රියාවන්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා මඟ පෙන්වන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටිනවා.

ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අමෙරිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින විරෝධතාවයන්ට ශ්‍රී ලාංකිකයින්ද සහය පළ කිරිමත් සමග කුමාර් සංගක්කාර මෙසේ සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළකර සිටියා.

” වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක්‍රියාකාරිත්වය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් වනවා. අමෙරිකාවද, ශ්‍රී ලංකාව යන්න නොවේ, අප ලොව කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ. එහි තේරිම කළ යුත්තේ ඔබයි මමයි.

අපගේ බුද්ධිය, දයානුකම්පාව, සංවේදනය සහ අවබෝධය ගැන තීරණ ගත යුත්තේ රජය විසින් නොවෙයි. කිසිවිටක අන් අයට සීමා පැමිණවීම් හෝ වෙනස්කම් කිරීම හෝ වෙනස්කම් වැලඳ ගැනීමට ඇති හැකියාවන් අප විසින් සීමා නොකළ යුතුයි.

ජනතාව හැටියට එය තෝරා ගන්නේ අපයි. අපගේ නියෝජිතයින් කව්රුන්ද යන්න අප අතරින්ම තෝරා ගන්නෙමු. ඔවුන් රජයට එන විට ඔවුන්ගේ චරිත ලක්ෂණ සඳහා වගකිවයුත්තේ අපයි. ඔවුන් ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ අපයි. ඔවුන්ගේ ක්‍රියාවන්ට බලපාන්න්නේ අපගේ බලපෑම සහ වටපිටාවයි.

අපගේ තේරිම් රජයේ ආකල්ප, ක්‍රියාකාරකම්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා මග පෙන්වනු ලබනවා. හොඳ රජය සහ හොඳම සාධාරණ පාලනය ස්ථාපිත කිරිමට නම් අප වඩාත් හොඳ පුද්ගලයින් විය යුතුයි.

අපගේ ශක්තින් සහ දුර්වලතාවයන් අප තෝරා පත් කරගනු ලබන නියෝජිතයින් ගේ හැසිරීමෙන් පිළිබිඹු කරනවා.

ගෞරවය, අවබෝධය සහිත යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිම සඳහා සාමාන්‍ය පුරවැසියන් වන අප සියලු දෙනාට එක්ව කටයුතු කළ යුතු වනවා.

ඒ වෙනුවෙන් අප ධෛර්යවත්ව සිටීම ඉතා වැදගත්. ඒ සඳහා වන ගමනට ක්‍රියාශීලිව විශ්වාසවන්තව සියලු දෙනා එක්විය යුතුයි.

හෙට අපගේ දරුවන්ට උරුම වන සංස්කෘතිය අද අපගේ තේරීමයි.

අපට අපගේ ජීවිත ගැන ආඩම්බර වීමට නම් අපේ උරුමය ඉදිරියට ගෙන යෑමට අපගේ දරුවන් ක්‍රියා කරන්නේ නම් අපි වඩාත් යහපත් විය යුතුයි. අපේ දරුවන් වෙනුවෙන් වඩාත් යහපත් විය යුතු බවට අප අපෙන්ම ඉල්ලා සිටීමයි වැදගත් වන්නේ.”