අමෙරිකාව පුරා ප්‍රබල විරෝධතා මාළාවක් : පොලිස් ස්ථාන රැසකට ප්‍රහාර- නගර 25කට ඇඳිරි නීතිය (PHOTOS)

May 31, 2020 at 12:01 PM

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇතිවූ විරෝධතාවයන් එරට පුරා මේ වන විට පැතිර ගොස් තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි මට්ටමකට පැමිණීමත් සමග එරට ප්‍රාන්ත 16 ක පිහිටි නගර 25 කට ඇඳිරි නීතිය පැනවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

කැලිෆෝනියා, කොළරාඩෝ, ෆ්ලොරිඩා, ජෝර්ජියා, කෙන්චුකී, නිව් යෝර්ක්, ඔහියෝ ඇතුළු ප්‍රාන්ත 16 ක මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතාකරුවන් පාලනය කිරිම සඳහා පොලිසියට නොහැකිවිම හේතුවෙන් එරට ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් යෙදවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් හට අවවාදාත්මක නිවේදනයන් කිහිපයක්ද සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කොට තිබෙනවා.

කෙසේ වුවත් ධවල මන්දිරය ඉදිරිපිට ද විරෝධාතාකරුවන් විසින් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා දියත් කර සිටියා.

මේ වන විට අමෙරිකාවේ නගර රැසක පොලිස් ස්ථානවලට විරෝධතාකරුවන් විසින් ප්‍රහාර එල්ල කොට විනාශ කොට ඇත.

අවස්ථා රැසකදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරින් අතර ගැටුම් හටගෙන ඇත.

මේ අතර ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් 1000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා මධ්‍යයේ නාඳුනන පුද්ගලයින් විසින් සිදුකළ වෙඩි ප්‍රහාර වලට ගොදුරු වී පුද්ගලයින් තිදෙනෙක්වත් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොව පුරා ව්‍යාප්තව තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති අමෙරිකාවේ ඇතිව තිබෙන තත්ත්වය ඉතා භයානක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.