මියගිය ස්වාමියා එන තෙක් රෝහලට වී බලා සිටින පුංචි සුරතලා

May 30, 2020 at 8:54 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටියදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකු ගේ සුරතලා ලෙස ඇති කරන ලද සුනඛයා මාස 03 ක කාලයක් සිට රෝහල ඉදිරිපිට බලා සිටීමේ පුවතක් චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වනවා.

“බාවෝ” නම් වූ මෙම සුනඛයාගේ ස්වාමියා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයේදී රෝහල් ගත කිරිමෙන් දින 05 කට පසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය ස්වාමියා මියගොස් ඇති බව නොදන්නා “බාවෝ” ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මෙලෙස රෝහලේ ලොබියට වී පසුවන අතර ඔහුව පසුගිය කාලය පුරාවටම රෝහල් සේවක මණ්ඩලය විසින් රැකබලා ගනු ලැබුවා.

සංචරණ සීමා ලිහිල් කිරිමෙන් පසුව “බාවෝ” ගැන ආරංචි වූ ආපනශාලා හිමියෙක් ඔහුව රැක බලා ගැනීමට ඉදිරිපත් වුවත් මෙම සුරතලා රෝහල් භූමියෙන් ඉවත් නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් අවසානයේදී මෙම බලු සුරතලා දිගින් දිගටම රෝහල තුල රැඳී සිටීම හේතුවෙන් ඔහුව වුහාන් නගරයේ පිහිටි සත්ව සුබ සාධක මධ්‍යස්ථානයක රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සුරතලා ගේ කතාව මියගිය සිය ස්වාමියා එන තෙක් දුම්රියපොළ අසලට වී වසර ගණනාවක් බලා සිටි ජපානයේ “හචිකෝ” ගේ කතාවට බෙහෙවින් සමාන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.