කොරෝනා මැද්දේ “ට්‍රම්ප්” ලෝක සෞඛ්‍ය සංවිධානයට දඬුවම් දෙයි

May 30, 2020 at 7:06 AM
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකාව අතර පැවති සම්බන්ධතාවය අවසන් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා. ඒ, ධවල මන්දිරයෙන් පිටත මාධ්‍ය හමුවකට එක්වෙමින්.
චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගත තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පාලනය කළ ආකාරය එම තීරණය ගැනීමට හේතුව වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ.
” ඔවුන් විසින් සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අප සෘජුව ප්‍රකාශ කර සිටියා. නමුත් ඔවුන් එය ක්‍රියාවට නැංවීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පැවති අපේ සම්බන්ධතාවය නතර කිරිමට අමෙරිකාව තීරණය කරනු ලැබුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙනු ලබන ප්‍රදානයන් සහ ආධාර ලොව අනෙක් සෞඛ්‍ය සංවිධාන සහ ආධාර ගෝලීය හදිසි වෛද්‍ය ආධාර ලබා දෙනු ලබන කණ්ඩායම් වෙත පිරිනැමීමට අප පියවර ගන්නවා.
මෙම වෛරසය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම චීනයෙන් පිළිතුරු බලා සිටිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විනිවිද භාවයක් තිබිය යුතුයි” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.
කෙසේ වුවත් අමෙරිකානු ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් දැක්වීමක් සිදුකර නොමැත.