බෙලරෑස් සිටි ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි

May 29, 2020 at 10:26 AM

බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ දින රාත්‍රීයේදී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

බෙලරෑස් හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස පැමිණ තිබු අතර ඉන් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.

මෙලෙස පැමිණි සියලු දෙනා විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසුව කොරෝනා රෝග ලක්ෂණ පවතීද යන්න සම්බන්ධයෙන් මුලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යුධ හමුදාව විසින් රැගෙන යනු ලැබුවා.