මිලියන ගණනින් ආ පළගැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ආක්‍රමණය කරයි (PHOTOS)

May 28, 2020 at 11:01 AM
කොරෝනා වසංගතය, අධික උෂ්ණත්වය සහ ගංවතුර තත්ත්වයකට එකවර මුහුණ දෙමින් සිටින අසල්වැසි රාජ්‍යයක් වන ඉන්දියාවට තවත් ප්‍රබල ගැටළුවක් මතුවී තිබෙනවා. ඒ පළගැටියන් ගෙන්ය.
ජායිපුර් ඇතුළු ඉන්දියාවේ නගර රැසකට එක්වර මෙම පළගැටියන් ගෙන් එල්ලවූ ආක්‍රමණය හේතුවෙන් බියට පත්වූ ජනතාව නිවාස තුලටවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම පළගැටියන් විසින් මේ වන විටත් අක්කර 125,000 ක වගා බිම් විනාශ කොට තිබීමෙන් කොරෝනා වසංගතය නිසා පිඩාවට පත්ව සිටින ජනතාවට තවත් ගැටළු රැසක් මතුවී තිබෙනවා.
මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 150,000ක් වාර්තා වී තිබෙනවා. ගෝලීය වශයෙන් ගත් කළ ඉන්දියාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.
මෙම කාන්තාර පළගැටියන් පාකිස්ථානය හරහා ඉන්දියාවට ඇතුල්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම පළගැටියන් බහුලව දක්නට ලැබෙන්නේ රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශයේයි.
ඊට අමතරව තවත් ප්‍රාන්ත රැසක ද මෙම පළගැටියන් රංචු වශයෙන් ගැවසෙන බවට නිරීක්ෂණය කොට තිබෙන බවයි ඉන්දීය බලධාරින් සඳහන් කරන්නේ.
මෙම ආක්‍රමණික පළගැටියන් මීට පෙර අප්‍රිකානු මහද්ධිවීපයෙන් සහ පාකිස්ථානයෙන් වාර්තා වූ අතර එම රටවල් වල වගාභුමි විශාල ප්‍රමාණයක්‌ හානියට පත්වුවා.