ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500ක් : කැබිනට් අනුමැතිය හිමවේ

May 28, 2020 at 11:36 AM

දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙරටට ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2500ක් ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මහවැලි කෘෂි සහ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවයි.

එම කැබිනට් පත්‍රිකාවට අනුව “සෞභාග්‍යා වැඩසටහන” යටතේ සුළු හා මධ්‍යම පරිමාණ දේශීය කිරි ගොවින් නගා සිටුවීම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහය පේරාදෙණියේ පිහිටි පශු සම්පත් පීඨයෙන් අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ.

දිනකට මේ වන විට දේශීය දියර කිරි ලීටර් මිලියන 1.2ක් නිපදවන බවත් පිටි කිරි වලින් ඉවත් වී සම්පුර්ණයෙන්ම දේශීය කිරි වලට රට හුරු කිරීමේදී දියර කිරි ලීටර් මිලියන 3.5ක් අවශ්‍ය බවද අමාත්‍යවරයා කියා සිටියා.

වාර්ෂිකව කිරිපිටි ආනයනය කිරිමට රුපියල් බිලියන 50ක් වැය කරන බවත් දියර කිරිවලට රට හුරු කිරිමෙන් එම මුදල රටට ඉතිරි වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.