වෙනත් පක්ෂයකින් තරගා කරන එජාපයේ සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසයි

May 27, 2020 at 6:57 PM

වෙනත් දේශපාලන පක්ෂයකින් මෙවර මහ මැතිවරණය නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වෙත ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසමින් ලිපි යොමු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව සදහන් කර සිටියි.

අදාල ලිපිය මගින් මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලබාදුන් කිසිඳු පුද්ගලයෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැති බවයි.

එය පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙන්වාදෙන මහලේකම්වරයා එලෙස කටයුතු කර ඇති පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ද සදහන් කර ඇත.