එජාප සාමාජිකයින් 102ක ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

May 27, 2020 at 9:54 PM

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එලෙස කටයුතු කර ඇති සාමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත්, ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර ඒ පිළිබඳව කටයුතු කරන බවයි.

“පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකා කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.