මාස 03ට තෙල් සංස්ථාවේ පාඩුව බිලියන 45ක්

May 26, 2020 at 2:09 PM

2019 වසරේදී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 හේතුවෙන් ගතවූ කාලය තුල රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවිරට දැනුම් දී තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඇමතිවරයා සමග අද පැවති සාකච්ජාවකදිය.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ඉන්ධන සහනාධාර ක්‍රියාත්මක කිරිමත් සහ පසුගිය මාස 03 තුල කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්ධන සඳහා ඇතිවූ ඉල්ලුම අඩුවීම් මීට හේතුව බවයි නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහළ ආදායම් ලබා දෙන රජයේ ආයතනවල පවතින නාස්තිය දුෂණය මෙන්ම ප්‍රමාද වළක්වා ගන්නේ නම් ඉහළ ආදායම් රටට ලබාදිය හැකි බවයි.