එතෙර සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට නව ක්‍රමවේදයක්

May 26, 2020 at 6:08 PM

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලබන අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඒ අනුව ජුනි මස සිට සැලසුම් කිරීමට නියමිතයි.

පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් කොරෝනා ආසාදිතයන් බව හෙලිව ඇත. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගෙන ඇත . තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

කුවේට්හි සිට සිය රට ආ සියලුදෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අයයි. ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීම අවශ්‍යතාවයකි. මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කර ඇත. ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහභාගී වීමට නියමිතව ඇත.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ව්‍යාප්තිය නිසා පිඩාවට පත් එතෙර වෙසන ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ කෙරුණා.

චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට නිවෙස් කරා යනු ලැබුවා. ඉන් පසුව වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා මෙරටට ගෙන්වා ගනු ලැබුවා.

ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට මෙසේ ගෙන්වා ගත් පිරිස 5485 දෙනෙකි. ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අයයි. PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන්ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණක් බවද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.