අගෝස්තු 01 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමට ජනපති ආ යෝජනාව

May 26, 2020 at 4:13 PM

රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කර තිබෙනවා.

අප්‍රේල් මස 30 වැනිදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවූ බවත් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන් අතර කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතින බවද ප්‍රකාශ කෙරුණා.

ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරුණා.

එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනීමට නියමිතයි. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබිය.

“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කළ යුතුයි . ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධනයන් සැලසුම් සකස් කළ යුත්තේ” ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා.