එකම වර්ගයේ යතුරුපැදි සොරකම් කළ අපුරු සොරා (VIDEO/ PHOTOS)

May 25, 2020 at 1:56 PM

සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි තොගයක් සමග එම අපරාධය සිදුකළ සැකකරු ගාල්ල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් සොරකම් කර ඇති යතුරුපැදි වලින් 26ක් සොයාගෙන ඇති අතර තවත් යතුරු පැදි රැසක් සොයා ගැනිමට තිබෙන බවද පොලිසිය පවසනවා.

යතුරු පැදි සොරකම් කරන ලද සැකකරු සමග ඒවා ලඟ තබා ගැනිම සහ සොරබඩු බැහැර කිරිම සම්බන්ධයෙන් තවත් තිදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ගිංතොට පියදිගම පදිංචිකරුවෙකු වන අතර සොරබඩු ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේද ගිංතොට ප්‍රදේශයේ තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අද දහවල් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 08 දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කරනු ලැබුවා.

මෙම සැකකරුගේ විශේෂත්වය වන්නේ ඔහු විසින් සොරකම් කර ඇත්තේ එකම වර්ගයකට අයත් සැහැල්ලු යතුරු පැදි(මෝ පේඩ්) පමණක් විමය.

ගාල්ල ,රත්ගම,හබරාදුව,කරාපිටිය,හික්කඩුව,හබරාදුව ,අහංගම,අම්බලන්ගොඩ , මාතර ආදි ප්‍රදේශවලින් මෙම යතුරුපැදි සොරකම් කර ඇත.

පොලිසිය පැවසුවේ සැකකරු මුඛ ආවරණයක් පැළඳ පැමිණ මෙම යතුරු පැදි සොරකම් කර තිබෙන අතර එය ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන්වි තිබුනද මුඛ ආවරණය පැළඳ සිටිම නිසා හරිහැටි හඳුනා ගැනිමට නොහැකිවු බවය.

පසුව සැකකරු ගමන් ගත් මාර්ගයේ තිබු ආරක්ෂිත කැමරා තිහකට අධික ප්‍රමාණයක් පරික්ෂා කොට සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවේ.

සොරකම් කරන ලද යතුරු පැදි රුපියල් දස දහසක් වැනි මුදලකට අලෙවි කර ඇති බවද තිදෙනෙකු යතුරු පැදි තුන හතර ලබාගෙන තිබු අතර එම තිදෙනා සොරබඩු ලඟ තබා ගැනිම සම්න්ධයෙන් අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.

තවත් යතුරු පැදි රැසක් සොයා ගැනිමට තිබෙන අතර තමන්ගේ සැහැල්ලු යතුරු පැදිය සොකරම් කර තිබේනම් ගාල්ල පොලිසියට පැමිණ හඳුනා ගන්නා ලෙසද පොලිසිය ඉල්ලා සිටි.