සීෂෙල්ස් සිට ලංකාවට හදිසියේ පැමිණි ගුවන් යානය

May 23, 2020 at 4:07 PM

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ මොස්කව් නුවර රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ රාත‍්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා. ,එම පිරිස රැගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1206 දරණ විශේෂ ගුවන් යානය ඊයේ රාත‍්‍රී 10.54 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මේ අතර අද පස්වරු 2.45 ට පමණ සීෂෙල්ස් ජාතිකයන් 35 දෙනෙකු රැගත් එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

මෙලෙස පැමිණි සියලුම ගුවන් මගින් විෂබිජහරණය කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මේ අතර කොවිඩ් 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින දහවල් 12.24 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම ගුවන් යානය අද රාත්‍රියේදී යලි ශ්‍රී ලංකාව බලා ඒමට නියමිතව ඇත.