පාසල් යලි ඇරඹීමේදී වියදම මිලියන 680ක් – ඇමති ඩලස් කියයි

May 22, 2020 at 6:38 PM

නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

පාසල් විවෘත කිරීමේදී සෑම පාසලකටම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවයි ඇමතිවරයා පැවසුවේ. මේ සඳහා සිසු දරුවන් 200ට අඩු සෑම පාසලකට ම රුපියල් 30,000/-ක් බැගින් ලබා දීමට පියවර ගන්නා බවත්, දිවයින පුරා සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 680ක් ඇස්තමේන්තුගත කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ අද (22) පැවති හමුවකට එක්වෙමින්ය.

Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනය කිරීමේ දී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන වැරදි මත අතිශයින් ම සාවද්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.