අනතුරෙන් මියගිය පුද්ගලයා දින 45කට පසුව නිවසට ඇවිත්

May 21, 2020 at 1:33 AM

මිට මාස එකහාමාරකට පමණ ඉහතදී හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ මීගොඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණීමේ පුවතක් වාර්තා වනවා.

“කළුතර අයියා” නමින් හඳුන්වන මෙම පුද්ගලයා සිය පවුලේ ඥාතින් ඇතිවූ ආරවුලක් මත මිට මාස දෙකකට ඉහතදී නිවසින් පිටව ගොස් ඇත. කෙසේ හෝ සති දෙකකට පසුව ඔහුගේ නිවසට ලද පණිවිඩයකින් කියැවි ඇත්තේ හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කළුතර අයියා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහුගේ පවුලේ සාමාජිකයින් රෝහලට ගොස් බැලීමේදී මෘත ශරීරයේ මුහුණ හඳුනා ගැනීමට නොහැකිවන අයුරින් හානිවී තිබෙන අයුරු නිරීක්ෂණය කර ඇති අතර ශරීරයේ භාහිර ලක්ෂණ අනුව තම ඥාතියා බවට කරුණු දැක්වීමෙන් අනතුරුව දේහය නිවසට රැගෙනවිත් අවසන් කටයුතු කර ඇත්තේ කොරෝනා වසංගතය මධ්‍යයේදී බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ ඒ වන විටත් කොලොන්නාව ප්‍රදේශයේ පිහිටි ගරාජයක සේවය කරමින් සිටි කළුතර අයියා කොරෝනා වසංගතය පාලනය කිරීමට ඇඳිරි නිතිය පනවා තිබීම නිසා යලි සිය නිවසට ඒමට නොහැකිව සිට ඇති අතර ඊයේ (20) දහවල් කාලයේදී යලි සිය නිවසට පැමිණ ඇත්තේ මාස දෙකකට පමණ පසුවයි.

මියගොස් අවසන් කටයුතුද සිදුකර අවසන් වූ සිය ඥාතියා පණ පිටින් නිවස ඉදිරිපිට සිටින අයුරු දුටු ඔහුගේ ඥාතීන් සිදුවූ දෙය අදහා ගත නොහැකිව මේ සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට දැනුම් දී ඇති අතර පසුව පොලිසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

හයිලෙවල් මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් සත්‍ය වශයෙන්ම මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීමට මේ වන විට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.