නාවික හමුදාවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ රැසක්

May 20, 2020 at 5:12 PM

වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළ බවත් ඔවුන් සිය විමර්ශන වලින් අනතුරුව අදාළ වාර්තාව තමන් වෙත දැනුම් දුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

එම වාර්තාව අනුව නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරිම සඳහා තමන් විසින් නිර්දේශ කිහිපයක්ම නාවික හමුදාව වෙත නිකුත් කළ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

උදාහරණයක් ලෙස ගත හොත් වැලිසර කඳවුරේ සේවය කොට දුරබැහැර ප්‍රදේශවල සිටි නාවික සාමාජිකයින් එම ස්ථානවල පිහිටි කඳවුරු වෙත යොමු කිරිමෙන් පසු පසුගිය දින වලදී ආසාදිතයින් වාර්තා වූ බව කියා සිටියා.

මිට අමතරව කඳවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් නතර කරන ලෙසටද උපදෙස් ලබාදී ඇති බව ඔහු කියා සිටියා.

මෙම නිර්දේශ නිසි පරිදි සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පත් කොට තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 221 දෙනෙක් සුවය ලබා ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියා.