අනවශ්‍ය බලපෑම් එපා : ජනපති ජාත්‍යන්තර සංවිධානවලට සෘජුවම කියයි

May 19, 2020 at 6:04 PM

රටට ආසාධාරණයක් වන ලෙස යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම සංවිධාන වලින් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 11 වන රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” වසර 20ක් සක්‍රිය හමුදා සේවයේ යෙදී සිට පසුව 10 වසරක් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ද පුරවැසියෙක් ලෙසත් අපේ රණවිරුවන් කළ කැපවීම මම හොඳින් දන්නවා. යුද්ධයේ වේදනාව මම හොදින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංකා ජනතාවට සාමය උදාකර දීමට කැපවූ රණවිරුවන්ට හිමි ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. මගේ රජය යටතේ මේ රටේ විරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික කොට සිටියාය.

රණවිරුවන්ගේ අයිතීවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න තමන් කිසිවිටකත් ඉඩ දෙන්නේ නැතැයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදා වෙන් කරන්නයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුනානම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන කරන, යුධ බිය ජන ජිවිතයේ කොටසක් බවට පත්වූ, තවත් එක් අවාසනාවන්ත බෙදුනු රටක් බවට ලංකාව පත් වෙනවා. ඒ ව්‍යවසනයෙන් රට මුදවා ගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම විරෝධාර රණවිරුවන්ට ලබාදිය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.