කැළඹුණු කාලගුණය (PHOTOS)

May 19, 2020 at 1:57 PM

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද (19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය තැපැල් කාර්යයාලය අසල සිට නාවලපිටිය පොලිසිය දක්වා මෙසේ ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

වැසි ජලය නිසි ලෙස බැස නොයැම නිසා නාවලපිටිය නගරය මෙසේ ජලයෙන් යට වන බවයි නාවලපිටිය නගරයේ ව්‍යාපාරිකයින් කියා සිටින්නේ.

මේ අතර නාවලපිටිය වැලිගම්පොල ඉසිපතනාරාම විහාරස්ථානයේ බොධි ප්‍රාකාරය වටා ඉදි කර තිබු ආරක්ෂිත බැම්ම කඩාගෙනවිත් ප්‍රතිසංස්කරණය කරමින් තිබු එම විහාරස්ථානයේ ආවාසගෙට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග නාවලපිටිය ප්‍රදේශයෙන් පිටාර ගලා ඇත.

පසුගිය පැය කිහිපය තුල ගිං ගඟ සහ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතීන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශ වන නෙළුව, තවලම, කොටපොල යන පිටාර නිම්නයේ පහත් බිම් වලට ඉදිරි පැය කිහිපය තුල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාෂවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඒ අනුව ඇතිවිය හැකි ගං වතුර තත්ත්වයක් ගැන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටියි.

(ජයාරූප උපුටා ගැනීම : සමාජ මාධ්‍ය මගින්)