මැතිවරණ පෙත්සම් වලට එරෙහිව නීතිපති කරුණු දක්වයි

May 18, 2020 at 12:08 PM

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද (18) පෙරවරු 10:40 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේ දී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ආරම්භ කරන ලදී .

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මෙම පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන ලදී. එහිදී ඇය පවසා සිටියේ මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු නියමිත කාල සීමාව තුළ නොවන බැවින් ඒවා පවත්වාගෙන ගෙන යාමට නොහැකි බවයි. තවද මෙම පෙත්සම්වල ජනාධිපතිවරයාගේ කටයුතු සදහන් කර තිබුණත් ජනාධිපතිවරයා පෙත්සම් වල පාර්ශ්වයක් ලෙසට නම් කර නොමැති බැවින් ඒවා පවත්වාගෙන යාමට නොහැකි බවයි. තවද මෙම පෙත්සම් වලින් ඉල්ලා ඇති සහනයන් ලබා දීමට නොහැකි ඉල්ලීම් නිසා මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර දේශන පසුව ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වන විට නීතිඥ චරිත ගුණරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. සුමන්දිරන් සිය වාචික දේශන ඉදිරිපත් කරමින් සිටියි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කරන ලදී.