පෙත්සම් විභාගය හෙට දක්වා කල් තබයි

May 18, 2020 at 2:43 PM

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය හෙට (19) දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අද දින පෙත්සම්කාර චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු මස මුලදී කොරෝනා වෛරස් තත්ත්වය වසන්ගතයක් ලෙසට නම් කර ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා කැදවීමට තීරණය කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස තුනකට වඩා නොකැදවා සිටිය නොහැකි බවත් ඒ අනුව අලුත් පාර්ලිමේන්තුව කැදවීමට නොහැකි නම් පරණ පාර්ලිමේන්තුව හෝ කැදවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පවසා සිටියේ.

තවද මැතිවරණය සදහා නාමයෝජනා රජයේ නිවාඩු දින ලෙසට ප්‍රකාශ කර ඇති දින වල කැදවා ඇති බව ඔහු පවසා සිටියා .

නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ගේ දේශන අද දින අවසන් කළ අතර දෙවන පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හෙට දින කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.