ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” ලෙස සංවර්ධනය කිරීමට යයි

May 18, 2020 at 10:11 PM

ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” (Global crew exchange hub) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුවී තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතයන් සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා මේ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර සිටියේ.

සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඈතින්  මුහුදු තීරයේ වෙළෙද නැව් 300කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව සමාගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලටද ශ්‍රී ලංකාවේ සිට සිය රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයටද මෙය ඉවහල් කරගත හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපයීමේ හැකියාව පිළිබඳ විශ්වාසය ලෝක නාවික සමාගම් හමුවේ තහවුරු කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට විදේශ නෞකාවල රැකියා අවස්ථා දිගුකාලීනව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතීන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ලෝක නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ලක්ෂ 16ක් වන අතර එම පිරිස අතරට ශ්‍රි ලාංකිකයන් 16,000ක් ද අයත් වනවා. ඔවුන්ගෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙන අතර මේ පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායම ද දෙගුණ කළ හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.