“අම්ෆන්” සුළි කුණාටුව ත්‍රිකුණාමළයට ආසන්නයේ ස්ථානගත වෙයි

May 17, 2020 at 7:02 AM

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කිලෝමීටර් 610ක් ආසන්නව ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මෙම සුළි කුණාටුව “අම්ෆන්” යනුවෙන් නම් කොට ඇති අතර ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී හෙට (18) දින උදෑසන වන විට ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට අනුමානය කර ඇත.

මෙම කුණාටුව අද දිනයේදී උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුලදී උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.