කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට දුන් ස්ථාන මාරුව අවලංගු කලේ ඇයි ? – මැතිවරණ කොමිසම පැහැදිලි කරයි

May 15, 2020 at 7:25 PM

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව අත්හිටුවමින් මැතිවරණ කොමිසන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එලෙස ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ලබාදී තිබීම ඊට හේතුවක් වූ බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ.

“සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ස්ථාන මාරුව ලබාදීමේදී මැතිවරණ නීති අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුවත් කොට එය සිදු කිරීමට පියවර ගෙන නොතිබීම ඊට හේතුවක් වුණා.

මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නැයි අදාළ රෝහල් අධ්‍යක්ෂකවරයා සිදුකළ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිසම අදාළ පියවර ගනු ලැබුවා.

නමුත් යම් කිසි අයුරකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරිමට අවශ්‍යනම් නිසි අයුරෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා සිදුකරනු ලබන ලිඛිත ඉල්ලීමක් අනුව එය සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගැනීමට කටයුතු කරන බව” මෙහිදී අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා.