හිටපු ඇමති රාජිත CID අත්අඩංගුවට

May 13, 2020 at 7:00 PM

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ හිටපු ඇමතිවරයාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කලේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.