නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඥානසාර හිමියන් පෙත්සමක් ගොනු කරයි

May 13, 2020 at 6:41 PM

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් අපේ ජන බල පක්ෂයෙන් කුරුණැගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පසුගිය මාර්තු මස 19 දා ප්‍රතික්ෂේප කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුලු පිරිසක් නම් කර ඇත.

තම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක දෝෂයක් පැවැතියේ යැයි පදනම මත එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ක්‍රියා කළ බව පෙත්සම්කරුවෝ පවසා සිටියි. මේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

මීට අමතරව පෙත්සම් විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.