ඩයලොග් සමාගම සහ Huawei සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමිලේ ප්‍රදානය කරයි

May 13, 2020 at 8:41 PM

ඩයලොග් සමාගම සහ Huawei සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමිලේ ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (MOH) පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ. අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් මගින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය ජාතික ඒකාබද්ධ ඊ-සෞඛ්‍ය (e-Health)පද්ධතියක් සමඟ සක්‍රිය කරමින් දුරස්ථව සිට සම්බන්ධවිය හැකි තාක්ෂණික පහසුකම් හරහා මධ්‍යගත සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය තොරතුරු සේවාවන් සහ සෞඛ්‍ය අධ්‍යාපන සේවාවන් ලබාදීමට සහාය දක්වයි.

මෙම සහයෝගීතාවය හරහා නිවාරක, ප්‍රවර්ධනාත්මක, ප්‍රතිකාරක සහ පුනරුත්ථාපන සත්කාර ඇතුළුව, දුරස්ථ විශේෂඥ වෛද්‍ය උපදේශන, සෞඛ්‍ය තොරතුරු සේවා, වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සහ සජීවී වීඩියෝ සම්මන්ත්‍රණ වැනි විදුලි සංදේශ සහ ඩිජිටල් සන්නිවේදන තාක්ෂණ හරහා ක්ෂේත්‍ර නිලධාරීන්ට තමන් සිටින ස්ථානයේ සිට සම්බන්ධවීමේ හැකියාව ලබාදීම අරමුණ කෙරේ. තාක්ෂණය හරහා කලාප අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම තුළින් දුර බැහැර පළාත්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය උපදෙස් ප්‍රධාන රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන් හරහා රෝගියා ස්ථාන මාරුවකින් තොරව ලබාගැනීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.

මේ හරහා සෞඛ්‍ය සේවා සම්පදකයන්ට වීඩියෝ සම්මන්ත්‍රණ ඔස්සේ රෝග පිළිබඳව සාකච්ඡා කිරීම, රසායනාගාර අතර සිදුකෙරෙන පරීක්ෂණ ප්‍රමුඛ විශේෂඥයින්ගේ අර්ථ නිරූපණ සඳහා යොමු කිරීම, නිරතුරුව යාවත්කාලීන වන සෞඛ්‍ය දත්ත බෙදාහැරීම මගින් රෝගීන් අධීක්ෂණය කිරීම, සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සඳහා පුහුණු සැසි සංවිධාන කිරීම, රෝහල් සහ අනෙකුත් ඒකක අතර සම්බන්ධීකරණය, සෞඛ්‍ය සම්බන්ධ වෘත්තීය අධ්‍යාපනයක් පවත්වාගෙන යාම සහ මහජන සෞඛ්‍ය පරිපාලනයක් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදේ. තවද දුර බැහැර ප්‍රදේශවල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ජාතික රෝහල් හා ශික්ෂණ රෝහල්වල සිටින ප්‍රමුඛ විශේෂඥයන් සමඟ තොරතුරු හා අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙහි ඇති තවත් වාසියකි.


මෙහිදී, Huawei ටෙක්නොලොජීස් විසින් වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය ඒකාබද්ධ උපකරණ ලබාදෙන අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් තෝරාගන්නා රෝහල්වල එම පහසුකම් ස්ථාපිත කිරීම සිදුකර වසර තුනක කාලයක් සඳහා අවශ්‍ය නඩත්තු සහ සහාය සේවා පහසුකම්ද එම සමාගම විසින් නොමිලේ සිදුකරනු ලබයි. වසර තුනක කාලයක් සඳහා රෝහල් 30 ට අවශ්‍ය සබඳතා පහසුකම් නොමිලේ ලබාදීම හරහා ඩයලොග් මෙම වැඩසටහනට සහාය දක්වයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිනී, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙසේ අදහස් දැක්වූවාය. “ජාතියේ සෞඛ්‍ය සේවා සංවර්ධනයේ ඊළඟ පියවරට අවතීර්ණවීම පිළිබඳව ඩයලොග් සහ Huawei සමාගම්වලට අපි ස්තූතිවන්ත වෙනවා. වර්තමානයේ දිවයිනේ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට විවිධාකාරයේ සාකච්ඡා සහ සමුළු සඳහා කොළඹට පැමිණීමට සිදුව තිබෙනවා. නමුත් මේ ආකාරයට ලබාදෙන පහසුකම් හරහා විවිධ කලාපවල පිහිටා ඇති මධ්‍යස්ථාන සමඟ වීඩියෝ සම්මන්ත්‍රණ හරහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට හැකිවීම තුළින් අනුමත සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සියලුම විශේෂඥයින් කොළඹට ගෙන්වාගැනීම වළක්වාගැනීමට අපට හැකියාව හිමිවෙනවා.”

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින්, “ජාතික ඒකාබද්ධ ඊ- සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම හරහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටි රෝහල් 30 ක සෞඛ්‍ය සේවා සම්පාදකයන්ට සිය සේවාවන් කාර්යක්ෂමව සිදුකිරීමට ඉඩ සලසමින් පිවිසුම් අවස්ථා ප්‍රවර්ධනය කර, සහයෝගීත්වයෙන්, දේශ සීමා හරහා දැනුම බෙදාගැනීම සඳහා අවස්ථා ලබාදීමට හැකිවන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම තාක්ෂණික පහසුකම් සැලසීමට කටයුතු කිරීම පිළිබඳව ඩයලොග් සමාගමටත්, Huawei සමාගමටත් අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා. COVID-19 වසංගත රෝගී තත්වය පවතින මෙවන් අත්‍යවශ්‍යම මොහොතක මෙම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම පිළිබඳව අපි විශේෂයෙන්ම ඩයලොග් සමාගමට සහ Huawei සමාගමට ස්තුතිවන්ත වෙනවා.”

මෙම සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “නවීනතම පහසුකම්වලින් සමන්විත වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් ස්ථාපිත කරමින් දිවයින පුරා විසිරී සිටින සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර සහයෝගීත්වය හා දැනුම බෙදාගැනීමට පහසුකම් සැලසීම සඳහා අප සමඟ මෙම සත්කාරයට අත්වැල් බැඳගැනීම වෙනුවෙන් Huawei සමාගමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපගේ ගෞරවය පුදකර සිටිනවා. Augmented වීඩියෝ සම්මන්ත්‍රණ අත්දැකීමක් හරහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් සමීප කරමින් COVID-19 තත්වය තුළ පමණක් නොව ඉන් ඔබ්බටත් සේවාවක් සැලසීම සඳහා මෙම මධ්‍යගත ඒකාබද්ධ ඊ – සෞඛ්‍ය පද්ධතිය අප රටට සහායක් වේයැයි සතුටින් යුතුව සඳහන් කර සිටිනවා. අපේ ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීමට සමත්වන හොඳම තාක්ෂණ පහසුකම් අත්විඳීමේ අවස්ථාව ලබාදීම සඳහා අපි නිරතුරුවම කැපවී කටයුතු කරනවා.”

“බෞද්ධ ධම්ම පදයේ සඳහන් වන ආකාරයට නිරෝගීකම යනු ඉහළම ධනයයි” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ලියෑං යී මහතා පැවසීය. “නව්‍ය වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණයන් භාවිතා කරමින් මෙම වසංගත සටනට සහාය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමග අත්වැල් බැඳගැනීමට ලැබීම ගෞරවයක් ලෙස අපි සලකනවා. වර්තමාන අභියෝගය ජයගනිමින් මෙම සුන්දර දිවයිනට නැවතත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලබාදීම සඳහා මේ අවස්ථාවේ සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම එකමුතුව මහත් පරිශ්‍රමයක් දරනවා.”