කොවිඞ් 19 සටනේ පෙරමුණ සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව තහුවරු කිරීමට රෙකිට් බෙන්කිසර් සහය

May 5, 2020 at 3:55 PM

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පෙරටුව ශ්‍රී ලංකා රජය විසින් කොවිඞ් 19 අභියෝගය ජයගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අත්‍යවශ්‍ය සවිය සපයමින් සනීපාරක්ෂක නිෂ්පාදන තොග ආධාර වශයෙන් සැපයීමට රෙකිට් බෙන්කිසර් ලංකා සමාගම (Reckitt Benckiser Lanka) පසුගියදා කටයුතු කළේය. වෛරසයට එරෙහි සටනේ පෙරමුණෙහි සිටින සෞඛ්‍ය අංශ සාමාජිකයින්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රදානය කෙරෙනු මෙම නිෂ්පාදන තොගයට ඩෙටෝල් දෑත් සේදීමේ ඒකක සමඟ 3000 කට අධික ඩෙටෝල් දෑත් සෝදන දියර බෝතල් ප්‍රමාණයක්, ඩෙටෝල් විෂබීජ නාශක දියර ලීටර් 50,000 ක්, ලයිසෝල් බහුකාර්ය පිරිසිදු කිරීමේ දියර ලීටර 120,000 ක් සහ හාර්පික් වැසිකිළි පිරිසිදු කිරීමේ දියර ලීටර 120,000 කට අධික ප්‍රමාණයක් අයත් විය. මෙම නිෂ්පාදන තොගය පසුගියදා රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරිණි.

රෙකිට් බෙන්කිසර් ලංකා සමාගම පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවතට ඉතා සමීප නිෂ්පාදන රැසක් ගෙන එන කීර්තිමත් ආයතනයකි. ඩෙටෝල්, හාර්පික්, ස්ටේ‍රප්සිල්ස්, වීට්, එයාර්වික්, ඩියුරෙක්ස් සහ ලයිසෝල් වැනි අතිශය ජනප්‍රිය සන්නාමයන් රැසක් රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ නිෂ්පාදන පරාසයට අයත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ වාණිජ අධ්‍යක්ෂක සින්ක්ලෙයාර් කෲස් මහතා පැවසුවේ “කොවිඞ් 19 වසංගතය රටම වෙළා ගැනීමේ අවදානමක් මතුව ඇති අවස්ථාවක මහජන සනීපාරක්ෂාව හා බැඳුණු සන්නාම වශයෙන් අපට ඇති වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට හැකි වීම විශාල සතුටක්. මේ දැවැන්ත උවදුර අභියස පළමු ආරක්ෂක වළල්ල වශයෙන් ජීවිත කැපකිරීමෙන් ක්‍රියා කරන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ අවස්ථාවේදී කළ යුතු වැදගත්ම කාර්යයි. රෙකිට් බෙන්කිසර් සමාගම විසින් ලබාදෙන ලද සහයෝගය මේ සම්බන්ධයෙන් වැදගත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”

මෙම නිෂ්පාදන තොගය ආධාර වශයෙන් ලබාදීමට ප්‍රථම ඩෙටෝල් සහ හාර්පික් සන්නාම විසින් කොවිඞ් 19 වසංගතය මැඩලීම සඳහා තවත් ආකාර ගණනාවකින් සහයෝගය සැපයීමට කටයුතු යොදා තිබිණි. ඒ අනුව ඩෙටෝල් විසින් සිය “පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ, දැවැන්ත පිරිවැයක් දරමින් මධ්‍යම ස්ථානවල අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීමට සහ රෝහල් වෙත සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබිණි. කොටුව, මරදාන, ගම්පහ, දෙමටගොඩ සහ වේයන්ගොඩ දුම්රිය හා බස් නැවතුම්පොළවල් සහ අංගොඩ බෝවන රෝග රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, මීගමුව මහ රෝහල, රාගම ශික්ෂණ රෝහල, මාරවිල රෝහල, මුල්ලේරියාව රෝහල සහ අනුරාධපුර රෝහල යන රෝහල්වලට පිවිසුණු ජනතාව සහ එම කාර්ය මණ්ඩල මේ යටතේ සෘජුවම ප්‍රතිලාභ ලැබූ පිරිස් වේ.

එමෙන්ම හාර්පික් සිය “හාර්පික් සුවජන මෙහෙයුම” ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව කොවිඞ් 19 සඳහා ප්‍රතිකාර කරන රෝහල් සහ එම පරීක්ෂණ මධ්‍යස්ථානවල පහසුව පිණිස සිය ජංගම වැසිකිළි ඒකක පිහිටුවීමටද ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය ඇතිව එම ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් නවීකරණය කිරීමටද කටයුතු යොදා තිබිණි.

රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂක ෂමින්ද පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ඩෙටෝල් සහ හාර්පික් ප්‍රමුඛ රෙකිට් සන්නාම පෙළ හැමවිටම සමාජ වගකීම් පිළිබඳව සැළකිලිමත් වුණ සන්නාම පෙළක් වශයෙන් ප්‍රකටයි. මේ තීරණාත්මක අවස්ථාවේදී අපේ සන්නාම සතු සිය`ඵ ශක්තිය යොදවා ශ්‍රී ලංකා රජයට සහය වීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. එමෙන්ම ඉදිරියටත් හැකි හැම අයුරකින්ම මෙම මෙහෙවර පවත්වා ගෙන යාමට අපි කැප වෙනවා”

රෙකිට් බෙන්කිසර් ලංකා කණ්ඩායම විසින් යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා වෙත ආධාර ලබාදුන් මොහොත. රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ ජේ්‍යෂ්ඨ කළමානාකාර – ව්‍යාපෘති, නිලන්ත ගාමිණී මහතා (දකුණේ) සහ ඩෙටෝල් – නිෂ්පාදන සමූහ කළමනාකරු ටෙහාන් සමරසිංහ මහතා (දකුණේ සිට දෙවැනියට) විසින් එහිදී රෙකිට් බෙන්කිසර් ලංකා සමාගම නියෝජනය කෙරිණි.