සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගන්වන්නට Daraz වෙතින් විශේෂ  වැඩසටහනක්

May 2, 2020 at 12:49 PM

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා රු. මිලියන 30ක් වටිනා ව්‍යාපාරික අත්වැලක්

COVID–19 සමග මෙරට ඇතිව තිබෙන සාමාජීය හා ආර්ථික පසුගාමීත්වය අතර අපහසුතා රැසකට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා සම්පාදනයෙහිලා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේද 500,000 කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 52% ක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දීර්ඝ කාලීන යහපැවැත්ම උදෙසා නිසි ක‍්‍රමවේදයක අවශ්‍යතාව මෙකල පෙරටත් වඩා දැඩිව මතුව තිබේ.

රටේ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගත් Daraz විසින් මේ වනවිට විවිධ අසීරුතාවයන්ට මුහුණපා ඇති ව්‍යාපාර ක්ෂේත‍්‍ර රැසක් ආවරණය වන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම උදෙසා  “එක්සත්ව ශක්තිමත්ව” යන තේමාව පෙරදැරිව ක‍්‍රියාත්මක කෙරෙන ක‍්‍රියාකාරී වැඩසටහනක් අරඹා ඇත. මෙම ව්‍යවසායක පහසුකම් සැලසීමේ වැඩසටහන යටතේ මූල්‍යමය හා ව්‍යාපාරික දීමනාවන්ට අමතරව විකිණුම් හා ප‍්‍රවර්ධන සහයද පිරිනැමේ.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර අන්තර්ජාල වෙළෙඳපොළ වෙත රැගෙන එන්නට ආරාධනා කර සිටින Daraz ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක වටිනාකමකින් යුතු පහසුකම් රැසක් පිරිනමයි. Daraz වෙතින් ඔවුන් වෙත සැලසෙන සහන අතර මාස 2ක් විකුණුම් සඳහා වන පහසුකම් සේවා ගාස්තුවෙන් නිදහස් කිරීම වඩාත් කැපී පෙනෙයි.

දින කිහිපයක් සඳහා බැංකු ආදායම් වාර්තා සඳහා සෘජු පිවිසුම් අවස්ථාවද Daraz වෙතින් ඔවුන් වෙත හිමිවේ. ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා අධ්‍යාපනය හා පුහුණු අවස්ථා සැලසීම වෙනුවෙන් Daraz University වෙතින් නොමිලේ අවස්ථාව හිමිවේ. එමෙන්ම මෙම කාලසීමාව තුල ව්‍යවසායකයන්ගේ වියදම් පාර්ශ්වය අඩුකරලීම උදෙසා Daraz විසින් ඇසුරුම්කරණ ගාස්තු අයකිරීමක්ද නොවේ. Daraz විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා සලසනු ලබන මෙ සේවාව පිළිබඳ අදහස් දක්වමින් Daraz ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ රඛීල් ප‍්‍රනාන්දු මහතා  “අපි මේ මොහොතේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ආරක්ෂිත ක‍්‍රමවේදයක් සමග නැවතත් ආරම්භ කිරීමේ කාලීන අවශ්‍යතාව තේරුම් ගත්තා.

අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු කිරීම පවතින වාතාවරණය යටතේ ඉතා සුදුසුම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සලසන්න පියවරගත්තා.” යැයි පැවසීය.

Daraz අන්තර්ජාල අලෙවි සේවාවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ක‍්‍රියාත්මකය. වැඩි විස්තර සඳහා www.daraz.lk වෙත පිවිසෙන්න.