ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල 5 වන ස්ථානයට

May 1, 2020 at 6:18 PM

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කලකට පසු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල 5 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 7 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජයට පත් ව ඇත්තේ තරග 2ක් පමණයි.

මෙම ජයග්‍රහණ මත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 91 ක් හිමිකරගෙන ඇති අතර කලකට පසු මෙම ශ්‍රේණිගතකිරීම් වල පළමු ස්ථානයට පත්වීමට ටිම් පේන්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානුවන් සමත්වීම කැපිපෙනවා.

නවසීලන්තයමෙම ශ්‍රේණිගතකිරීම වල දෙවන තැනට පත්වෙද්දි අසල්වැසි ඉන්දීය කණ්ඩායම තුන්වන ස්ථානය තෙක් පසුබැස ඇත්තේ ප්‍රසාද ලකුණු 114ක් ලබාගනිමින්. ඉන්දියාව අවසන් වරට මුහුණු දුන් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජය පත්වීම ඔවුන්ගේ මෙම පසුබෑමට හේතුවී තිබෙනවා.

මෙලෙස වසර ගණනාවකට පසු ජයග්‍රහණය ගැන නිව්ස් වයර් ක්‍රීඩා අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවසුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කණ්ඩායමක් ලෙස පසුගිය කාලය තුළ දැක්වු දක්ෂතා ගැන කණ්ඩායමේ නායකයා ලෙස සතුටු වන බවයි.

මෙම වසංගත තත්ත්වය පහව ගිය පසු කණ්ඩායමක් විදිහට ටෙස්ට් හා එක්දින තරග වලදී දක්ෂතා දක්වමින් රටට ජයග්‍රහණ ලබාදීමට අපේක්ෂාවෙන් පසුවන බව දිමුත් කරුණාරත්න අප සමග වැඩිදුරටත් ප්‍රකාශ කළා.