ණය සහන ඉල්ලන්න හෙටින් පස්සෙත් පුලුවන්

April 29, 2020 at 10:55 AM

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

මේ යටතේ බලපත්‍රලාභී බැංකු විසින් රු. 500,000 ට වඩා අඩු චෙක් පත් වලංගු කාලය 2020 මැයි 15 දින දක්වා දීර්ඝ කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර දන්වා සිටියේ මෙම කාලය 2020 අප්‍රේල් 30 වනදායින් අවසන් වන බවයි.

මීට අමතරව කොවිඩ්-19 ව්‍යසනය නිසා වැඩකටයුතු අඩාල වූ සහ විදේශයන් හි පොදු පහසුකම් හා සේවා කටයුතු වසා දැමීම් නිසා අගතියට පත් සියලු ණය ගැනුම්කරුවන් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ අදාළ සහන ලබාදීමට මූල්‍ය ආයතන විසින් කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටි අතර ඒ සඳහා අන්තර්ජාල පහසුකම් හෝ වෙනත් සන්නිවේදන මාද්‍යයන් ඔස්සේ සහන අපේක්ෂා කරන බවට 2020.04.30 දිනට ප්‍රථම ඉල්ලීම් කළ යුතු බව ද සඳහන් විය.

මේ අනුව මෙම කාලසීමාව ද 2020.05.15 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.