Special Report : සුදුවැල්ලේ 206වැනියා කොවිඩ් පැතිරූ තරම ! අද වන විට පවතින තත්ත්වයේ හැරවුම් ලක්ෂ්‍යය එය බව හෙළිවේ.

April 28, 2020 at 7:11 AM


දකුණු කොරියාවේ කොවිඩ්19 වෛරසය පැතිරීමට හේතුවූ ආසාදිතයා patient 31 ලෙස ජනප්‍රිය වූයේ 61හැවිරිදි එම ආසාදිතයා ආගමික උත්සවයකට සහභාගි වීමෙන් 3000කට අධික ආසාදිතයින් පිරිසක් ඇති කිරීමට හේතු වූ නිසාය.
ලංකාවේ වත්මන් තත්වයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස එලෙස හඳුනාගෙන ඇත්තේ 206 වැනි ආසාදිතයායි.
අප්‍රේල් 5 දා සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගත් ඔහු මත් ලෝලියෙකි.
සොරකමේ නිරතව සිටි ඔහු ගම්මුන් විසින් පොලීසියට අල්ලා දීමෙන් පසු කොවිඩ්19 ආසාදිත බවත් හෙලිවිය.
ඔහු නිසා ඇතිවූ බලපෑම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද සජීවී රූපවාහිනී වැඩසටහනකදී විස්තර කලේය.
ඒ අනුව ඔහු අල්ලා ගත් ගම්මුන් සහ පමුණුගම පොලීසියේ පිරිසක් ආසාදිත වීමේ අවදානම හේතුවෙන් සුදුවැල්ල ප්‍රදේශයම හුදකලා කෙරුණු අතර, එම ප්‍රදේශයේ සහන මෙහෙයුම් වල නිරත නාවික හමුදාවේ සාමාජිකයින් ට පසුව කොවිඩ්19 ආසාදනය වූ බවට විශ්වාස කෙරේ.
ඔවුන් වැලිසර නාවික කඳවුරට අනුයුක්ත වූවන් බැවින් වැලිසර නාවික හමුදා කඳවුරට වෛරසය පැමිණෙන්නට ඇති බව පැවසෙනවා.
අජිත් රෝහණ මහතා පැවසුවේ සමාජ වගකීම පැහැර හැරි එක් පුද්ගලයෙකු නිසා එම 206 වැනි ආසාදිතයා කොවිඩ්19 පැතිරීමේ හැරවුම් ලක්ෂ්‍යය වූ බවයි.