උකසට තබන රන් භාණ්ඩ වලට ගිනි පොලී බෑ.!

April 27, 2020 at 9:16 PM

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% – 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් අද සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලදී.
මෙම උපරිම පොලී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අළුත් කිරීමේ දී අදාළ වේ.

තව ද, රන් භාණ්ඩ උකස් සේවා සපයන අනෙකුත් ආයතන ද සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා දැරිය හැකි පිරිවැයකින් සපුරා ගැනීමට සහ පසු කාලීන ව එම උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට හැකි වන පරිදි අඩු පොලියකට උකස් ණය පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.