විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීමේ ප්‍රායෝගික ගැටලු විදේශ ලේකම් පහදයි.

April 26, 2020 at 5:15 PM

ශ්‍රී ලංකාව තුළ  COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම සිදු කරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.
සිරස ගුවන්විදුලිය සහ ‘දවස’ රූපවාහිනී වැඩසටහන වෙත අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ වෙනත් මාධ්‍යයන් හරහා මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. මෙම සංඛ්‍යාවට සංක්‍රමණික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වේ.
ඔවුන් මුහුණ දී සිටින සුවිශේෂී අවදානම සැලකිල්ලට ගනිමින්, රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියාවට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා  පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 කින් යුත් ජාලය ද අවශ්‍යතා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයින් ට සහාය වෙමින් පහසුකම් සපයයි. අවශ්‍ය අවස්ථාවන්හි දී වියළි සලාක සහ ඖෂධ ලබා දීමට අමතරව, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, බැංකු  හරහා මුදල් ගෙන්වා ගැනීම/අරමුදල් මාරු කිරීම, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ සමස්තයක් වශයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා  මෙම දූත මණ්ඩල ක්‍රියා කරයි.

එලෙස රුසියාවේ සිසුන් පිරිසකට අද ශ්‍රීලංකා රුසියා මිත්‍රත්ව සංවිදානය මෙලෙස පහසුකම් සපයා දුනි.

මේ අතර තව දුරටත් කුවේටයේ සේවය කිරීමට අවස්ථාව අහිමි වූ ශ්‍රමිකයන් 19,000 කට අධික පිරිසකට පොදු සමාවක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාවේ එහි පවතින විශේෂිත තත්ත්වය කෙරෙහි ද අවධානයක් යොමු කර ඇති බව ආරියසිංහ මහතා පැවසීය. මෙම පොදු සමා කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා සහ කුවේට් රජයන් සාකච්ඡා පවත්වමින් සිටින අතර, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ගරු ෂෙයික් සබා කලීඩ් අල්-හමාඩ් අල්-සබා මැතිතුමා අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, මේ සතියේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ කොළඹ සිටින කුවේට් තානාපති සමග  පැවති සාකච්ඡාවේ දී, මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව විශේෂ අවධානය යොමුවිය. විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, මෙම සාකච්ඡාවලින්   අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක තීරණයක් අපේක්ෂා කරන බවයි.