ලංකාවේ පැතිරෙන වෛරසය වෙනස්!

April 25, 2020 at 7:07 AM

ලංකාවේ ව්‍යාප්ත වන්නේ යුරෝපයට වඩා වෙනස් කොරෝනා වෛරසය ප්‍රබේධයක් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි.

COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ.

COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS-CoV2 ලෙස හඳුන්වනු ලැබේ.
එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප්‍රභේදය ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන අතර චීනයේ වුහාන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVID-19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප්‍රභේදය බව ද මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළාය.

නව කොරෝනා වෛරසයේ C කාණ්ඩය වැඩි වශයෙන් යුරෝපයෙන් වාර්තා වෙමින් තිබේ .
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථාන රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ මේ දිනවල සිදු කරනු ලැබේ.

එම පරීක්ෂණ සඳහා ලැබුණු COVID-19 රෝගය වැළඳුණු අයගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA (Ribo Nucleic Acid) දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය හඳුනාගැනීමට හැකි වී තිබේ.

”මේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක ජාන සැකැස්ම හොයාගත්තේ. ලංකාවේ පැතිරෙන වෛරසය නිවැරදිව හඳුනාගැනීම රටක් විදියට මේ සඳහා මුහුණ දෙන්න ඉතා ම වැදගත්,” යනුවෙන් මහාචාර්යවරිය විස්තර කළා ය.

COVID-19 රෝගයෙන් පුද්ගලයන් මිය යාමේ සිද්ධි ඇමරිකාව හා යුරෝපයෙන් වැඩි වශයෙන් වාර්තා වේ. තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව සැලකූ විට මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල පැතිර පවතින වෛරසයේ ස්වභාවය ඊට හේතු විය හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරයි.

“මේක අලුත් වෛරසයක් නිසා විකෘති සිදුවේගන යනවා. සිංගප්පූරුවේ එන්නතක් හැදුවොත් ඒක ලංකාවටත් හරියනව ද කියල බලන්න ලංකාවේ වෛරස කාණ්ඩවල තියෙන වෙනස්කම් වගේම අනිත් රටවල තියෙන වෙනස්කම් බලන්න ඕනා. ඒකට අපි ලංකාවේ මේ වෛරසයේ whole genomic sequencing කියන එක සොයා ගැනීම ඉතා වැදගත්,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියා ය.
BBC ඇසුරිනි