කොවිඩ් නව ප්‍රභේදයට මුහුණදීම සදහා මුව ආවරණය නිවැරදිව පැළදිය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහචාර්ය විශේෂඥ වෛද්‍ය නිලීකා මලවිගේ පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියා. මේ වන විට අවුරුදු සමයෙන් පසු ලංකාවෙහි කොරෝනා රෝගීන් වැඩිවීමක් සිදුව ඇති බවද නව ප්‍රභේදයක් මෙරටට පැමිණ ඇති බවත් මහාචාර්යවරිය සඳහන් කර සිටියා.
නව ප්‍රභේදය මින් පෙර පළමු සහ දෙවන රැල්ලෙහි පැමිණි ප්‍රභේදයන්ට වඩා පැතිරීම දරුණු වන අතර පෙර ප්‍රභේදයන් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ව්‍යාප්ත වුවද, මෙය එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට ව්‍යාප්ත විය හැකි බවද ඇය කියා සිටියා.
මෙම ප්‍රභේදය මගින් තරුණ ප්‍රජාවටද දරුණු රෝග ලක්ෂණ පෙන්වන බවත්, පෙර ප්‍රභේදයන්ගේ වැඩිදෙනෙකු හට රෝග ලක්ෂණ නොපෙන්වුවත් මෙමගින් වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ පෙන්වන බවත් මහාචාර්යවරිය සඳහන් කළා.
මෙම නව ප්‍රභේදය වාතය මගින් ව්‍යාප්ත වනවා යැයි මතයක් සමාජයේ පවතින අතර එහිදී සිදුවන්නේ ආසාදිතයෙකුගේ අංශු වාතයට නිරාවරණය වීමෙන් පසු වාතයෙහි පැය එකහමාරක් පමණ රැදී තිබෙන බැවින් ආසාදිත නොවන පුද්ගලයෙකු ආසාදිතයා එම පරිසරයෙන් ඉවත්ව ගිය පසු මුව ආවරණ නොමැතිව හැසිරේ නම් අදාල අංශු ආශ්වාසය හරහා ඇතුළුවී එම පුද්ගලයාද ආසාදිත විය හැකි බවයි.
මෙහිදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වැදගත් වන අතර මුව ආවරණ නිවැරදිව පැළදීම ඉතාම වැදගත් වන බව මහාචාර්යවරිය අවධාරණය කළාය. එනම් පාරේ ගමන් කිරීම් වැනි බාහිර පරිසරයේදී පමණක් නොව කාර්යාල ආදී අභ්‍යන්තර පරිසර වලදීද කෙනෙකු සමග කතාබහ කිරීමේදීද මුව ආවරණ නිවැරදිව පැළද කටයුතු කිරීම ඉතාම වැදගත් වන බව විශේෂඥ වෛද්‍ය නිලීකා මලවිගේ සඳහන් කර සිටියා.