කොවිඩ් එන්නත සහ ලේ කැටි ගැසීම

March 16, 2021 at 4:58 PM

මේ දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා තුල කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු ලේ කැට් ගැසීම් ගැන නොයෙකුත් වාර්තා පලවෙමින් තිබේ. එමෙන්ම මෙම තත්ත්වය නිසා සමහර යුරෝපා රටවල ඇස්ට්‍රා සෙන්කා එන්නත ලබාදීම නවත්වා ඇති බවට පලවේ. එම නිසා යම්කිසි තැති ගැනීමක් ඔබට ඇතිවී තිබේ නම් එය ගැන වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍ය මංජුල ඉල්ලෙපෙරුම සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

” යුරෝපියානු සම්භවයක් ඇති (Caucasian) පුද්ගලයන් වැඩි වශයෙන් ජීවත්වන යුරෝපීය රටවල අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක්ගේ ලේ කැටි ගැසීමේ සම්භාවිතාවය සැම ලක්ෂයකටම 120 ක් පමණ වේ (0.12%). එනම් අවුරුදු පනහක් වයසැති පුද්ගලයන් ලක්ෂයක් අතුරෙන් 120 දෙනෙකුට ලේ කැට් ගැසීම් බලාපොරොත්තු වෙයි. මෙම දත්ත ගණනය කල ඇතතේ කොවිඩ් 19 රෝගය ඒමට පෙර කාලයකදී වේ. තවද මෙම අගය වයස 25 දී ලක්ෂයකට 25ක්ද ගර්භණී කාන්තාවන් අතර ලක්ෂයකට 60ක් ද වෙයි.

දැනට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝපයේ මිලියන 17කට ලබාදී ඇති අතර එම පුද්ගලයන් ගෙන් 37 දෙනෙකුට ලේ කැටි ගැසීම් වාර්තා වී ඇත. එය 0.000052% අගයක් ගනී. එනම් සාමාන්‍යයෙන් සමාජයේ ලේ කැටි ගැසීම් බලාපොරොත්තු වන ප්‍රමාණයටද වඩා අඩු අගයකි.

එසේම ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට ලේ කැට් ගැසීම් ඇතිවනුයේ යුරෝපීය සම්භවයක් ඇති අයට වඩා අඩු ප්‍රමාණයකිනි. ලංකාවේදී හෝ ඉන්දියාවේදී කල ලක්ෂ ගණනක් වූ එන්නත් ලබා දීමේදී ලේ කැටි ගැසීම් වාර්තා වී නැත.

නමුදු නව්‍ය එන්නතක් ලබාදීමේදී වාර්තා වන සියලු ප්‍රශ්න වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ වලට භාජනය කරයි. සමහර යුරෝපීය රටවල් එම පරීක්ෂණ අවසන් වන තුරු ඇස්ට්‍රා සෙන්කා එන්නත ලබාදීම තාවකාලිකව නවතා ඇත. නමුදු මතක තබා ගත යුත්තේ එම රටවලට එ වෙනුවට ලබා දෙන්නට වෙන එන්නත් වර්ග ඇති බවය. එම නිසා එම රටවලට ප්‍රශ්නයක් නැත.

එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුරෝපීය ඖෂධ නියාමන අධිකාරිය අවවාදය වනුයේ ඇස්ට්‍රා සෙන්කා එන්නත් නැවත් වීමට කිසිම හේතුවක් නැති බවයි”.