හෘදයාබාධ නිසා අකාලයේ සිදුවන මරණ වගේම ආඝාත වැනි තත්ත්ව නිසා අකාලයේ ඔත්පල වීම් අපේ කාලයේ අවාසනාවකට වගේ නිරන්තරයෙන් අහන්න ලැබෙන කතා. අඩු වයසෙන් දෙමව්පියන් මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්ව වලට ගොදුරුවීම නිසා දරුවන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා මෙතෙකැයි කියා නිම කරන්න අපහසුයි. අපි මේ කතා කරන්නේ අපේ සමීපතමයන්ගේ ජීවිත අකාලයේ මිලින වන ගැටළුවක්..
නවතම පර්යේෂණ වාර්තා අනුව මාරාන්තික හෘදයාබාධ හතරකින් එකකට හේතු වෙන්නේ අධික ලුණු භාවිතය යි. ඒ වගේම, අංශභාගය වැනි තත්ත්ව ඇතිකරන ආඝාත පහකට එකක් පසුපස ඇත්තේ ද මේ අධික ලුණු භාවිතය යි. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමානයේ ශ්‍රී ලාංකිකයෙකුගේ දෛනික ලුණු භාවිතය අනුමත උපරිම සීමාව වන ග්‍රෑම් 5 මෙන් දෙගුණයකට ද ආසන්න වන බවට වාර්තා වෙනවා.
මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් වළක්වන්න අපගේ මුළුතැන්ගෙයින්ම මුල පුරන්න පුළුවන්. අතීතයේ ඇතැම් ගොවි ජන කොටස් අතර බතට ලුණු දැමීම නොතරම් වූ ක්‍රියාවක් බවට වහරක් පවතී යයි බවට අප අසා තිබෙනවා. අවාසනාවකට මෙන්, අද වන විට ලක්වාසින්ගෙන් අඩකට වඩා බත් පිසීමේදී ලුණු එක් කිරීම පුරුද්දක් ලෙස සිදු කරනවා. තරගකාරී වෙළඳපොළ ආර්ථිකයක් ඇති පසුබිමක, ලාබ රසකාරකයක් ලෙස ද ලුණු බහුලව භාවිතා කරනවා. දන්නෙම නැතුව අපේ රස සංවේදනය වැඩි ලුණු රසට අනුගත වෙලා.
මේ විදිහට වැඩි ලුණු රසයකට පුරුදු වූ කෙනෙකුට, නියමිත ලුණු ප්‍රමාණය සහිත ආහාර වල රස විඳීමට අපහසුයි. වාසනාවකට මේ අපහසුතාවය කාලයක් අඩු ලුණු භාවිතය මඟින් වෙනස් කරන්න පුළුවන්. වෙනදා ලුණු රසින් යටපත් වී තිබු රස අංකුර කෙමින් විවිධ රස හඳුනා ගැනීමට හැකිවන ලෙස නැවත සාමාන්‍ය තත්ත්වයට අනුගත වෙන්න පටන් ගන්නවා. අපිට ආහාරයේ ස්භාවික රසය විඳින්න පුළුවන් වෙනවා. හුදු ලුණු රසයෙන් ඔබ්බට ගොස් ආහාරයක නියම ස්වභාවික රසය විඳීමට කුඩා කල සිටම අපේ දරුවන් හුරු කල යුත්තේද මේ නිසාමයි.
ලුණු හැදිලා තියෙන්නේ සෝඩියම් අනුවක් සහ ක්ලෝරයිඩ් අනුවක් එකතු වෙලා. අපේ ශරීරයට මින් අහිතකර වන්නේ මේ සෝඩියම් අනුවයි. හිතල බැලුවොත් සුප් කැටවල අඩංගු මොනෝ සෝඩියම් ග්ලුටමෙට් MSG සහ සෝඩියම් බෙන්සෝඑට් වැනි ඇබ්බැහිකාරක රසකාරක වලද අඩංගු වන්නේ මෙම සෝඩියම් අනුවමයි. අපේ ශරීරයට අවශ්‍ය වන සුළු සෝඩියම් ප්‍රමාණය අප ලබා ගන්නා එළවළු, පලතුරු, මස් මාළු ආදී ආහාර වල ස්වභාවයෙන්ම අන්තර්ගත වෙනවා. එනිසා පිටින් රස ගැන්වීමට එකතු කරන ලුණු ප්‍රමාණය අඩු කිරීම මඟින් සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති වන්නේ නෑ.
ලුණු භාවිතය අඩු කිරීම තුළින් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය (අංශභාගය) වගේ මාරාන්තික රෝග අවම වන බවට පර්යේෂණවලින් ඔප්පු කර තිබෙනවා. දියුණු රටවල ලුණු අඩු ස්වභාවික ආහාර වලට අධික ඉල්ලුමක් පවතින්නේ මේ නිසා. ඒ වගේම නිවසේ ආහාර පිසීමේදී ලුණු භාවිතය අඩු කිරීමට කළ හැකි බොහෝ දේ තිබෙනවා. කල් තබා ගැනීම සඳහා ලුණු එකතු කරන ලද කරවල වැනි දෑ පිසීමට පෙර උණු වතුරෙන් සෝදා ගැනීම, දෙහි කරපිංචා කුරුඳු වැනි දේශීය කුළුබඩු යහමින් එකතු කිරීම වැනි පිළියම් අපිට කරන්න පුළුවන්.
ලුණු පිළිබඳ දැනුවත් වීමේ මේ සතිය තුල විචාරශීලී පාඨක ඔබ සමග මේ ගැන පුළුල් කතිකාවතක් ඇරඹීමට අපි අපේක්ෂා කරනවා. අධික ලුණු භාවිතයට හේතු වන කරුණු පිළිබඳ ඔබගේ මතය කුමක්ද? අප මේ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? මේ පිළිබඳව පුළුල් කතිකාවතක් අපි මෙතනින් ආරම්භ කරමු.
මෙම දැනුවත් කිරීම මඟින් අප බලාපොරොත්තු වන්නේ, වගකීමෙන් යුතුව නියමිත ප්‍රමාණයට පමණක් ලුණු ඇඹුල ආහාරයට එකතු කර, විවිධ රසයෙන් හැඩවුණු මෙන්ම ගුණාත්මක අහාර වේලක රස විඳීමට ලාංකික ඔබ සවිබල ගැන්වීමයි. මේ කතිකාවත බොහෝ විට අන් කිසිදු කතිකාවකටත් වඩා වැදගත් වෙන්නේ අපි මේ කතා කරන්නේ අපේ ආදරණීයයන් ගේ ජීවිත සුරැකීම ගැන අපේ නිවසේදීම අපි ගන්නා තීරණයක් ගැන නිසා.
සටහන – Health Promotion Bureau