සමස්ත ජනගහණයෙන් සීයයට 35කට කොවිඩ් එන්නත

January 8, 2021 at 3:16 PM

කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමෙන් අනතුරුව එම එන්නත ලබාදීමට බලාපොරොත්තුවන තෝරා ගත් කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව :

සෞඛ්‍ය සේවකයින් – 155,000 (0.68%)
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය – 127,500 (0.56%)
වයස අවුරුදු 60 ට ඉහල පුද්ගලයින් – 3,159,800 (14%)
විදේශගත ශ්‍රමිකයින් සමග ගැටෙන සේවකයින් – 225,700 (1%)
රෝගී භාවයෙන් පෙලෙන වයස අවුරුදු 18-59 පුද්ගලයින් – 3,227,510 (14.3%)
වයස අවුරුදු 40-59 ත් අතර පුද්ගලයින් – 3,114,660 (13.8%)

සෞඛ්‍ය සේවකයින් ලෙස නම් කර සිටින පුද්ගලයින් 155,000ක පිරිස කොවිඩ් එන්නත ලබාදෙන පළමු කණ්ඩායම ලෙසයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

ඉන් පසුව 127,500ක් පමණ වන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ භට පිරිස් හට මෙම එන්නත ලබාදීමට නියමිතව ඇත. ඉන් පසුව වයස අවුරුදු 60 ට වැඩි 3,159,800 ක පිරිසකට තෙවනුව කොවිඩ් එන්නත ලබාදීමට නියමිතව ඇත.

සිව්වන කාණ්ඩය යටතේ විදේශගත ශ්‍රමිකයින් සමග ගැටෙන සේවකයින් ලෙස හඳුනා ගෙන ඇති 225,700 ක පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

කෙසේ වූවත් රටේ සමස්ත ජනගහණයෙන් සියයට 35ක් ලෙස සැලකෙන වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට සහ ගර්භනී කාන්තාවන් හට කොවිඩ් එන්නත ලබාදීමක් සිදුනොකරේ. ඒ ඔවුන්ට එන්නත ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැතිවීම හේතුවෙනි.

සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට වැඩිදුරටත් සඳහන් කලේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෙදා දෙනු ලබන ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබා ගැනීමට රජය අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

එන්නත ලබා ගැනීමෙන් පසු ඒවා ගබඩා කිරීම සඳහා අවශ්‍ය ශීතාගාර කන්ටේනර් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව විසින් ඩොලර් 370,000ක් ලබාදී ඇති බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

මේ අතර කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 05ක් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.