ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපතිවරයා සමග පවසයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.
දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත් , මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව දූත පිරිස සඳහන් කළෝය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.
ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ.
මේ අතර එම දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ.