2008 නොවැම්බර් 14 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමතිය මත කාර්ය මණ්ඩලයට වරින්වර විවිධ කාර්ය මණ්ඩල දීමනා ගෙවීම පිළිබඳව කෝප් කමිටුවේ අවධානය යොමුවිය.
ඒ අනුව මෙම දීමනා ලෙස 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය. මෙහිදී කෝප් පමිටු සභාපතිවරයා පෙන්වා දුනනේ මෙම සියලු මුදල් ජනතා මුදල් බැවින් වගකීම් සහිත විය යුතු බවයි.
එසේම දීමනා ගෙවීම් සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිලු සහගත බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස ‘මනු කියවීමට’ අමතරව ‘නිවැරදිව මනු කියවීම’ ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සේවක වැටුප 25% කින් වැඩි කර තිබුණි.
නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය.
මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.
තවද 2018 – 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19 ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යනයක් සිදුකකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවයි. මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.