මේ වසර තුළ පමණක් ළඟම පාසල හොඳම පාසල වෙයි

June 18, 2022 at 12:52 PM
  • විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අහිමි වූ ඉගෙනුම් කාලය පිළිබවද විශේෂ අවධානය යොමුකරන ලෙස නිර්දේශ…
  • 2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස ද 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ද ගණන් බලා ඇති බව ද  අනාවරණය වෙයි

කොවිඩ් තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පසුගියදා (15) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

 

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතල ගැටලුවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

 

සීමිත කාලයක පාසැල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස සහ 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ගණන් බලා ඇති බව  ද මෙහිදී අනාවරණය විය.

මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන  බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.