ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පළමු වරට ලාංකික සම්භව්‍යයක් ඇති මන්ත්‍රීවරියක් තේරී පත්වෙයි

May 22, 2022 at 11:15 AM

ඊයේ (21) පැවති ඔස්ට්‍රෙලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ඇන්තනී ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා.

ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය පරදවා මෙලෙස ඔස්ට්‍රෙලියාවේ කම්කරු පක්ෂ රජයක් බිහි වී ඇත්තේ වසර 09කට පමණ පසුවයි.

ජයග්‍රාහී කම්කරු පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කියා සිටියේ ජනතාව වෙනසක් උදෙසා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

මධ්‍ය වාමාංශික අදහස් දරණ කම්කරු පක්ෂ නායකයා ඔස්ට්‍රෙලියානු ජනතාව එක්සත් කිරීමටත්, සමාජ සේවාවන්හි ආයෝජනය කිරීමටත්, කාලගුණ වෙනසට එරෙහි සටන් අවසන් කිරීමටත් ප්‍රතිඥා ලබාදුන්නා.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂයට ආසන 72 ක් හිමි වී ඇති අතර, ලිබරල් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 55 ක් පමණයි.

කෙසේ නමුත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 76 ලබාගැනීමට ඔවුන්ට හරිත පක්ෂය, ස්වාධීන සහ අනෙකුත් සුළු පක්ෂවල සහාය ලබාගත යුතු වනවා.

මෙවර ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු තරග වැදුණු අතර, ඔවුන් තුන්දෙනාම ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් තරග වැදීම විශේෂත්වයක්.

එහිදී හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ උපත ලද කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළේ ලිබරල් සන්ධානය නියෝජනය කළ ලාංකිකයෙකු වන රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමින් වීම විශේෂත්වයක්.