ඖෂධ හිඟයේ තරම කමිටුව හමුවේ හෙළිවේ

May 15, 2022 at 2:05 PM

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශීයක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ  පැවැති රැස්වීමකදී අනාවරණය කළේය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා වර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වින.

එහිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කරුණු හෙළිකරණු ලැබීය.

ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සැපයුම්කරුවන්ට මාස 4 කින් ගෙවීම් කර නැති බවත් ඒ අනුව මේ වන විට ඔවුනට ගෙවීමට රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් පවතින බවද හෙළිදරව් විය .

රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙරටට ආනයනය කළ ඖෂධවලට මාස 4 කින් ගෙවීම් කර නොමැති නිසා ඔවුන් අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බවද මෙහිදි අඅනාවරණය විය.

 

ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු මෙරටට කිසිදු ඖෂධයක හෝ උපකරණයක ඇණවුමක් ලැබී නැති බවත් පවතින ඖෂධ හා උපකරණ හිඟය සපුරා ගන්නේ විදේශ රටවල සිටින මිතුරන්ට පෞද්ගලිකව කතා කිරීමෙන් බවද ලේකම්වරයා හෙළිකළේය.

අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් තිබෙන අතර ඉන් ඖෂධ දෙකක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැත. ඉන් එකක් හෘද රෝගවලට භාවිතා කරන ඖෂධයකි. එහෙත් ඊට විකල්ප බෙහෙත් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.

ප්‍රතිජලභීතිකා ඖෂධය මේ වන විට අවසන්ව ඇති අතර එයට ආදේශක ඖෂධ කිසිවක් රටතුළ නැත. වෛද්‍ය සැපයුම් අංශයේ එය නැතත් පෞද්ගලික අංශයේ තිබෙන බවද ලේකම්වරයා කීවේය.

රෝගීන්ට අවශ්‍ය ඖෂධ 646 ක් ඇති අතර එයින් වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 188 ක් නොමැත. පිට ආයතනවල ඉන් 50 ක් නොමැත. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486 කින් 21 ක් වෛද්‍ය සැපයුම් අංශයේ නැත. එම ඖෂධ 49 ක හිඟයක් රෝහල් තුළ පවතියි. ශල්‍ය උපාංග 7854 ක් තිබෙන අතර ඉන් නිතර භාවිතයේ තිබිය යුතු උපකරණ 2048 ක් පැවතිය යුතු වුවත් ඉන් 1155 ක් නොමැත.

අනුපූරක උපකරණ 3416 ක් පැවැතිය ද ඉන් 1405 ක් නොමැත. රසායනාගාර ද්‍රව්‍ය 3900 ක් තිබෙන අතර ඉන් සාමාන්‍ය උපකරණ 800 ක් තිබිය යුතු වුවත් 250 ක් නොමැති බව හෙළිවින. අනුපූරක උපකරණ 3100 ක් තිබිය යුතු අතර ඉන් 600 ක් නොමැත.

ගෝස් කැබැල්ලේ සිට සේලයින් දක්වා ඖෂධ හා උපකරණ නොමැතිවීමේ අවදානමක් පවතින බවද මෙහිදි හෙළිදරව් වූවේය. විදුලිය කප්පාදුවත්, ජෙනරේටර් සඳහා අවශ්‍ය ඩීසල් නොමැතිවීමත් නිසා පෞද්ගලික අංශයේ ඖෂධ ගබඩාවල තිබෙන ඖෂධවල ගුණාත්මකභාවය ගැන ගැටළුවක් පවතින බවද හෙළි වුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ, ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අංශයේ මේ වන විට පවතින ගැටළු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අගමැතිවරයා වෙත යොමු කරන බවත් ඖෂධ ගැටළු සොයා බැලීමේ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට පොරොන්දු විය.