ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.
මේ හේතුවෙන් පාසැල් කටයුතු ද අද දිනයේ සිදුනොවන බවයි ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේ. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ගුරු විදුහල්පතිවරු අද දිනයේ පාසැල් වෙත නොපැමිණෙන බවයි.
අද දිනයේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. සිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යමණ්ඩලය අද දිනයේ සේවයට වාර්තා නොකරන බවට දැනුම්දීම හේතුවෙන් එම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ද නිවේදනය කළේ අද දිනයේ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොකරන බවයි.
මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කළා.
අද උදෑසන කාලයේ ලංගම බස් රථ ධාවනයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු අතර සේවකයින් හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතු සිදුනොවන බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.