පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පිරිසක් අතර අද සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී යෝජිත ජාතික එකඟතා ආණ්ඩුව සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැත.
මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අවස්ථාවක සමගි ජනබලවේග මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානය අතර ද විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්විණ.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වී නව කැබිනට් මණ්ඩලයක් සඳහා අවකාශය සැලසිය යුතු බවයි.
ඉන් මෙපිට ජාතික එකඟතා ආණ්ඩුවක් බිහිනොවන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ කැබිනට් මණ්ඩලයක් අලුතින් පිහිටුවීම සඳහා නව බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය මෙතෙක් සූදානම් බවට දැනුම් දීමක් කර නොමැති බවයි.