ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.
‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර ඇති අතර වෘත්තීය සමිති දහසකට අධික සංඛයාවක් මේ සඳහා එක්ව සිටින බවයි එහි නියෝජිත රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.
අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් මෙම වර්ජනයට එක්ව සිටිනවා.
මේ අතර මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කළා.
ඒ අනුව කාර්යාලවලින් ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින සේවා ඉටු කර ගැනීම සඳහා විකල්ප දින සැලසුම් කර ගන්නා ලෙසයි එම සංගමය දැනුම් දුන්නේ.
මෙම වර්ජනයට සමගාමීව අද මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පා ගමනක් සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනවල පැය දෙකක විරෝධතා ක්‍රියාමාර්ග සිදුකිරීමට ද නියමිතයි.